කොරෝනා ....නුඹ හරිම පුදුමය....

3개월 전

lo.jfif

ටික දවසකින් මොනවත් ලියන්න බැරි වුනා.work from home කියලා කතාවට කිව්වට office එකේ ඉඳන් කරනවට වැඩිය වැඩ ගෙදර ඉඳන් කරන එකත් ඒකට එක හේතුවක් වුනා.ඇත්තටම මේ කාලෙ ගෙවෙන්නෙ හිතට කිසිම නිදහසක් සැහැල්ලුවක් නැතුව.ඒ දැනෙන මානසික පීඩනය සමහර වෙලාවට manage කරගන්න අමාරුයි.තව කොයිතරම් කාලයක් මේ විදියට අපට ඉන්න වෙයිද දන්නෙ නෑ.හෙට දවස ගැන අපි කාටවත් අලුත් බලාපොරොත්තු තියාගන්න අමාරුයි .

මේ කථාව ලියන්න හේතුව වුනේ මගේ කාර්යාල සගයෙකුගේ අත්දැකීමක් .මාත් එක්ක ගොඩාක් ලඟින්ම වැඩ කරන ඔහුගෙ ජීවිතයේ බොහෝ දේවල් මාත් එක්ක නිතරම වගේ බෙදා හදා ගන්නවා .එහෙම මට කිව්වම මම මට පුළුවන් විදියට ඔහුගේ ප්‍රශ්න වලට උත්තර හොයලා දෙනවා.ඒ නිසාම වෙන්න ඇති බොහෝ දේවල් මාත් එක්ක කියන්න ඔහු දෙපාරක් හිතන්නෙ නැත්තෙ .
අද අපි දන්නා කියන බොහෝ අය වගේ ඔහු තරුණයෙක් .ඒ වගේම යොවුන් සිත් වලට ආගන්තුක නොවුන ප්‍රේමය විඳින ආදරවන්තයෙක්.ඔහුට මේ ආදරය හමුවෙන්නෙත් කොරෝනා වසංගතය තියෙන කාලෙක වීම විශේෂත්වයක්.ජීවිතේ කවදාවත් කිසිම කෙනෙක් තමන්ගෙ ජීවිතයට ලංකර ගන්නේ නෑ කියලා හිටපු ඔහු එහෙම දෙයක් ගැන කථා කරන්න පටන් ගන්න කොට අපිට ඒක ටිකක් පුදුම සහගත කථාවක් වුනා.අවසානයේ කොහොම හරි ඔහු ඒ අත්දැකීම විඳින්න පටන් ගත්තා .බොහොම හදිස්සියෙන් මුණ ගැහුන අවස්ථාවන් කීපයක් ඇරුනම මේ ලෙන්ගතුකම වැඩිපුරම ගලා ගියේ online හරහා.අපි විහිළුවට ඔහුගෙ සබඳතාවය හැඳින්නුවේ "මාර්ග ගත ප්‍රේමය " කියලා .ඔහු එකට උරණ වුනේ නෑ .
මොකක් හෝ හේතුවක් නිසා ඔහු පහුගිය කාලෙ හිටියෙ ඒ තරම් හිත සතුටකින් නෙවෙයි.මට ඒක හොඳටම දැනුන නිසා මම කෙලින්ම ඒ ගැන ඇහුවා .ඔහු මට කියපු කථාව ඇහුනාම මම ටිකක් පුදුමයට පත් වුනා.ඔහුගේ කථාවේ සාරාංශය තමයි දැන් ඔහුගේ ආදරවන්තිය කියනවලු මේ හිතවත්කම නතර කරන්න ඕනේ කියලා.ඒකට හේතුව විදියට ඇය කියන්නේ හමුවෙන්න ,දකින්න ,ඇවිදින්න යන්න ,අවස්ථාවක් නැතුව මේ විදියට ඉන්න එක දැන් එපා වෙලා කියලලු.කථාව ඇහුවට මට ඔහුට දෙන්න උත්තරයක් තිබුනේ නෑ .තවමත් ඔහු හරි කනස්සල්ලෙන් ඉන්නෙ.
ඔහුගේ කථාව ඇහුවම වෙනද වගේම මගේ අතින් පුංචි පද කිහිපයක් ලියවුනා .ඒක ඔබටත් කියවන්න දෙන්න හිතුනා .

මේ මට දැනුන ඔහුගේ කථාව .

ගාලු මුවදොර බංකුවක් උඩ
අතින් අත ගෙන බැන්ද ප්‍රේමය
නොපෙනෙනා මහ දුරක ගෙනගිය
කොරෝනා නුඹ හරිම නපුරුය ....

වැල්ලවත්තේ මුහුදු වෙරළේ
වැටකෙයියා මල් සුවඳ අතරේ
කිසිවෙකුට අප නොපෙනුනා වුව
එතන තිබුනෙත් සැබෑ ප්‍රේමය ....

රේල් පාරේ දෙපැත්තට වී
ගණන් කරමින් උණු කඩල ඇට
එක් නොවෙන එක මගක යද්දිත්
සිතට දැනුනේ සැබෑ ප්‍රේමය ....

දිනෙන් දින දුරකටම යන බව
පෙනී පෙනී නොපෙනුනා මෙන් සිට
නුඹට රිදෙතැයි බියෙන් නොකියා
හඬද්දීත් සිහි වුනේ ප්‍රේමය ....

අඬන්නට සිටියකුගේ ඇසකට
ඇඟිල්ලෙන් ඇන කඳුළු වට්ටා
යලිත් නොපෙනෙන දුරට ප්‍රේමය
අරන් ගෙනගොස් හිස් අතින් විත් ....

රිදුම් දෙන හදවතට අමතා
ගාලු මුවදොර අලුත් තණකොළ
බලන්නට යලි අතින් අදිනා
කොරෝනා නුඹ හරිම පුදුමය ....

lo1.jpeg

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
STEEMKR.COM IS SPONSORED BY
ADVERTISEMENT
Sort Order:  trending

තමන්ගෙ අත්දැකීම් විතරක් නෙවෙයි
අනුන්ගෙ අත්දැකීමක් තමන්ගෙ කරගෙන ලියන්න කවියෙක්ට කොහොම හැකියාවක්
තියෙන්න ඕනිද... කවිය හරිම ලස්සනයි...

·

මම හරි කැමතියි තව කෙනෙක්ගේ ජීවිතේ තියෙන දුක කියවන්න.එහෙම කියවලා පුංචි හරි සහනයක් දෙන්න .ස්තුතියි .

මේ කාලේ හැටියට එහෙම ප්‍රශ්නයක් තියෙන බව ඇත්ත​. ඒත් ඉතිං සම්බන්ධයක් නවතන එක පිලිතුරක් නෙමෙයි නෙ. කවිය ලස්සනයි.

·

අනිවාර්යයෙන්ම .ඒක නොගතයුතු තීරණයක් .

කොරෝනා කාලෙ කියන්නෙ ඕනම කෙනෙක්ට ගොඩක් වටින මොහොතවල් නැති කරපු කාලයක්. මේ පහුගිය අවුරුදු දෙකේ කොයි තරම් මතකයන් එකතු කරගන්න තිබ්බද

අඬන්නට සිටියකුගේ ඇසකට
ඇඟිල්ලෙන් ඇන කඳුළු වට්ටා
යලිත් නොපෙනෙන දුරට ප්‍රේමය
අරන් ගෙනගොස් හිස් අතින් විත් ...

·

හ්ම් .ඒ කාලය ආයෙත් එන්නෙ නෑ .